Posts from the ‘සිංහල ලිපි’ Category

මට ආගමක් නැත…

මට ආගමක් නැත…ආගම් ගැන මාගේ කියවීම අල්පය.. මා එක්තරා ධර්මයක් විස්වාස කරමි.. ඒ අනුව ජීවත් වෙමි. මා අදහන ධර්මය කාලය සමඟ විහිළුවක් බවට පත් නොවන එකකි.. මා අදහන ධර්මය කාලය ගෙවෙද්දී ලොව දියුණු වෙද්දී මැනවින් තහවුරු වන සහ විද්‍යාවේ දියුණුවට කරුණු සපයන එකකි..සක්විති රජෙකුගේ සියළු සතුන්ට සර්ව සාධාරණවූ ව්‍යවස්ථාව, හැම පැණයකටම පිළිතුරු ඇති විශ්ව කෝෂය මා අදහන ධර්මයයි..

එම ධර්මය දේශනා කරන ලද්දේ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක්ය… එතුමන්ගේ ජීවිත කතාව තුළම පිළිගත නොහැකි කිසිවක් නොමැත.. එතුමන් රජ පවුලක ඔටුන්න හිමි කුමාරයාය.. ශ්‍රේෂ්ඨතම රාජ්‍ය පාලකයෙකි, ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙකි, ශ්‍රේෂ්ඨතම දාර්ශණිකයෙකි. උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම සැමියාය, ශ්‍රේෂ්ඨතම පුතණුවන්ය, ශ්‍රේෂ්ඨතම පියාය, උන්වහන්සේගේ බිරිඳ ශ්‍රේෂ්ඨතම බිරිඳය, මව ශ්‍රේෂ්ඨතම මවය.. උන්වහන්සේගෙ සකල පිරිවරම ආදර්ශමත් චරිත වන්නේය.

මෙවැනි ධර්මයක් අදහන්නෙකු වී ඉපැදීමට මා ඉතා වාසනාවන්ත වී ඇත්තෙමි.. ඔවු මම බුද්ධ ධර්මය අදහන්නෙමි.. ඉතා ආඩම්බරෙන් ඒ මහා උත්තමයාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල සමරමි…

images

Facebook තහනම

පසුගිය දිනවල සිදුවුන යම් සිදුවීම් කීපයක් නිසා ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook මෙරට තුළ තහනම් කිරීමට (වසා දැමීමට) යාම පිළිබඳව හා හෝවක් යමින් පවතී.. සැබැවින්ම එවැන්නක් සිදුවිය හැකිද, ඒ කෙසේද හා එහි ඇති වැදගත්කම කවරේද යන්න පිළිබඳව ඔබ හා බෙදා ගැන්මට මා හටද යමක් ඇත..

මීට වසර කීපයකට පෙර තිබුණු තාක්ශණය භාවිතය සලකා බලන කල්හි වෙබ් පිටු එකතුවක් හෙවත් වෙබ් සයිට් එකක් මිස වෙබ් සර්විසස් ලෙස ගැනිය හැහි දෑ එතරම් ජනප්‍රියව නොපැවතිණ.. මෙම වෙබ් පිටු ඉතා සුළුවෙන් වෙනස් වන පෙර සැකසූ ස්තිථික සංයුතියක් ඇති ඒවා වීම නිසා ඒවා වසා දැමීම පහසු වූවා සේම ඒවායේ සමාජ, ආර්ථික බලපෑම සාපෙක්ශව අවම විය.. එලෙසින් සෙක්සි එල් කේ.. ටියුබ් 8 , ගොසිප් ඊ ලංකා වැනි අඩවි මෙරටට වසා දැමුණු අතර ඒවායෙන් වැඩිමනක් යහපතක් මිස බලපෑමක් නොවිය. එවැනි එයින් සමහරක් තහනම් කිරීමට පියවර ගත් අයට ඒ සඳහා මල් තියා වැන්දත් කමක් නැත.

නමුත් ෆේස්බුක් යනු එවැන්නක් නොවේය.. එක් මාධ්‍යකින් පමණක් නොව විවිධ අයුරින් සම්බන්ධ විය හැකි තාක්ශණිකව බෙහෙවින් පැතිරුණු වෙබ් සේවා (Web Service) මෘදුකාංගයකි.. ඊටත් වැඩි ප්‍රමාණයකින් සමාජය තුළටද මෙම සේවාව පැතිරී ගැටගැසී අවසන්ය.. ෆේස්බුක් සෘජුව හා වක්‍රව භාවිතයට ගැනෙන අනෙකුත් තාක්ශණික මෙවලම්/ වෙබ් සේවා (අතිශය ප්‍රයෝජනවත්) කොතෙකුත් ඇත.. ඒ අතර ගූගල්+, ස්කයිප්, ට්විටර්, ලින්ක්ඩ් ඉන් ආදිය වේ.. මේ මෙවලම් තුළින් පවා තම ෆේස්බුක් ගිණුමට යම් යම් සම්බන්ධවීම් කිරීමට ඉඩකඩ ඇත.. දැන් පැමිණෙන දුරකතන වල උපතින්ම ෆේස්බුක් පැමිණෙන්නේද ඉහත කී ෆේස්බුක් හි සමාජ කිඳාබැස්ම නිසාවෙනි..

ෆේස්බුක් එසේ ලේසියෙන් තහනම් කළ හැක්කක් නොවන්නේ වැඩිමනක්ම එය පුද්ගල ජීවිත හා සමාජය සමඟ මේ ඇතිකරගෙන තිබෙන බැඳීම නිසාවෙනි. ඒ හැරුණුකොට එහි තාක්ශණික පැතිරීමද සුළුපටු නොවෙන නිස මෙලෝ සිහියක් නැතුව ෆේස්බුක් වල සියළු සේවා මාර්ග අපේ රට තුළට අවහිර කිරීම යනු ඒ හා බැඳුණු අනෙකුත් සේවාවන්ටද ඇතැම් බලපෑම් සිදුවන කාරණයකි.. ඒ පිළිබඳව මීට වඩා යමක් කීමට networks, internet security , information system security, systems ආදී කොටස් විශේෂයෙන් ඉගෙන ගත් අයෙකුට මට වඩා හැකියාවක් පවතී.. මා මේ අදහස් පලකරන්නේ දත්ත හා ඒවායේ සබඳතා සලකා බැලීමෙනි..

කෙසේ වෙතත් එවැනි අමර කට්ටක් කා ෆේස්බුක් අවහිර කිරීමද ගඟට ඉණි කැපීමකි.. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි.. මෙහිදී මා පය බරවාය ලෙස කෝණ දෙකක් දක්වමි.. එකක්නම් මේ මතුපිටින් පෙනෙන දරුවන් විපතට පත් වීමය.. ඊටත් වඩා ඇතැම් අයට හානිකර වන්නේ මේ හරහා බිහිවන විකල්ප මාධ්‍යයන්ය.. විරුද්ධ අදහස් සමාජගත වීමය.. තමන්ට පෙන්වන්නට උවමනා දේට වඩා සත්‍ය හෝ විකෘති කරන ලද සත්‍ය සමාජයට ගැලීමය. ඔවුන්ට උවමනා ප්‍රමාණයට වඩා ගැඹුරින් ජනතාව සාකච්ඡා කිරීමය.. නමුත් ෆේස්බුක් අවහිර කිරීමෙන් මේවා වෙනස් වෙන්නේ නැත.. අද ගූගල් + ෆේස්බුක් මට්ටමටම ඇවිත් ඇත.. ස්කයිප් වෙනම පාරක ඊට වඩා ප්‍රබල මාධ්‍යයක් වී ඇත.. වයිබර්, ලින්ක්ඩ් ඉන්, ට්විටර් ආදී නොයෙකුත් ආදේශක පවතිද්දී ෆේස්බුක් පමණක් තහනම් කිරීමට යන්නේ ඇයිදැයි නොවැටහේ..

ඇතැම් විට මේ විකල්ප පිළිබඳව නොදැනුවත්ද? මේ සියල්ල තහනම් කරන්නේනම් ඉන් පසු දුරකතනද වසා දමන්නට වෙන්නේ නොවේද.. පසුගිය කාලයේ මිස්කෝල් ඔස්සේ දිවි නසාගත් අයද මීට වැඩියෙන් වාර්ථා විය.. දුරකථන ඇමතුම් ඔස්සේ සියල්ල නැතිකරගන්නා කෙල්ලන් අතරට මෙය කියන වෙලාවේ පවා කීදෙනෙක් එකතුවෙනවාද යන්න කිව නොහැකිය.. එක දුරකථන ඇමතුමෙන් දෙකෙන් හෝටල් කාමරයක තනිවෙන්න අද කෙල්ලන් පසුබට නොවේ..
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුරකතන සේවා සමාගමක සේවය කරන නන්නාදුනන තරුණියෙකු හා දුරකතන සංවාදයකට මුලපුරා එදිනම “මාව බලන්න එනවද ?” යන්න කියවා ගන්නා පුද්ගලයෙක් මා පුද්ගලිකවම දැක ඇත්තෙමි.. එසේ බලන්න එනවා යන්නෙහි අරුත මෙය කියවන ඔබට තේරෙනවා ඇතැයි සිතමි.. ඉන්පසු සිදුවූ දේද ඔබ අවබෝධ කරගනු ඇතැයි විස්වාස කරමි.

ඉහත මා කී පය බරවායවල් දෙකටම ෆේස්බුක් තහනම් කිරීමෙන් පිළියමක් ලැබෙන්නේ නැත.. ඉන්පසු සිදුවන්නේ ගූගල්ද වසා දැමීමටය.. බොහෝ වෙබ් පිටුවල ඇතැම් කොටස් ගූගල් භාවිතා කරයි.. බොහෝ නූතන වෙබ් අඩවි වල භාවිතා වන ජේකුවරි ආදිය කෙලින්ම ගූගල් සර්වරයේ සිට ක්‍රියාත්මක වන ලෙස සකසා ඇත.. මෙසේ කිරීමට බොහෝ තාක්ශණික වාසි හේතු වේ.. රාජකාරී සඳගා ගූගල් භාවිතා වේ.. සිතියම්, දිනපොත් ආදී නොයෙකුත් වෙබ් සේවා ගණනාවක් පිරිනමන ගූගල් මත අප රටේ බොහෝ ආයතන යැපෙන නිසා ගූගල්ද වසා දැමුණොත් එය රටේ අර්ථ ක්‍රියාවලියට පවා බලපාන බරපතල කරුණක් වනු ඇත ෆේස්බුක්ද එසේමය.

එබැවින් ෆේස්බුක් වසා දැමීම පහසු නොවන, ගැටළු මතුකරන හා මෙලෝ තේරුමක් නොමැති දෙයක් වන නිසා බුද්ධිමත් රජයක් එය වසා දමන්නට පියවර නොගනු ඇති බව මම සිතමි..

ළමුන් පිළිබඳ කාරණාවේ වගකීම දෙමාපියන් ගත යුතුය.. ෆේස්බුක් යාමට නොදී සිටීම නොව එහි හමුවන විශේෂ මිතුරන්ගේ අවශ්‍යතාවය දරුවන්ට නැතිකිරීම, දරුවා තුළ ගොඩනඟන විස්වාසය, ආදරය සහ දරුවා පිළිබඳව විමසීමෙන් ඉවසීමෙන් සිටීම ප්‍රමානවත් වන්නේ නොවේද ?

අනෙක් කාරණාවටනම් ඉතින් කරන්න දෙයක් නැත.. තමන් හොඳ කරානම් මිනිස්සු කතාකරන දේ ගැන බයවෙන්න දෙයක් නැත්තේය..

ප.ලි මෙය ලියා අවසන් වනවාත් සමඟම මා ඉහත කී වර්ගයේ කෙනෙක් මේ කාරණාව ගැන විග්‍රහ කර තිබුණා මේ සබැඳිය ඒ වෙතයි

ප්‍රොක්සි සර්වර්ස් සම්බන්දව මා කිසිවක් ප්‍රකාශ නොකලෙමි.. ඒ ඒවා පිළිබඳ මාගේ එතරම් ප්‍රසාදයක් නොමැති නිසාය.. නැතිනම් හයිඩ්මයි ඈස් හෝ ඊබඩී වැනි දෑද විකල්ප ලෙස භාවිතා කළ හැකි නිසා ෆේස්බුක් තහනම පලක් ඇත්තේම නැත 😀

නිවාඩුවක් ලැබුණු වගයි… බ්ලොග් කෙරුවාවේ හෙට ගැන ටිකක්..

බොහෝම කාලෙකට පස්සේ නිවාඩුවක් ලැබුණේ බ්ලොග් එක පැත්තේ මොනා හරි කොටන්න..
දැන්නම් බ්ලොග් කලාව ටිකක් හැපනින්.. සෑහෙන අළුත් මූණු ටිකක් ඇවිත්.. ඒත් කණගාටුව සමහර පරණ මූණු එහෙමම සැඟවිලා ගිහිනුත් තියෙන එක..

කොහොම උනත් ආයේ ලියන්නේ කොයි වෙලාවෙද කියලා බල බල හිටියේ.. ඉඩක් ලැබෙන හැම වෙලාවකම බ්ලොග් කියෙව්වත් ලියන්න වෙලාවක් වෙන්කරගන්න අමාරුයි රැකියාවත් එක්ක.. මම හිතන්නේ ගොඩාක් පරණ බ්ලොග් කරුවන්ට කාරියන්ටත් උනේ ඒකයි…

ඉතින් අළුතින් ලියන අයට කියන්න තියෙන්නේ මොන වැඩ තිබ්බත් මේකට යම් වෙලාවක් වෙන් කරන්න උත්සාහ කරන්න කියලා.. මොකද ශෛලිය කඩාගත්තොත් ඒක ආයේ ගොඩනඟාගන්න හරිම අමාරු නිසා.. නිර්මාණශීලීත්වය මොටවෙන්න දෙන්න එපා.. අපේ රටට අපේ භාෂාවට ඔබේ නිර්මාණ අවශ්‍යයි…

ඇත්තටම බ්ලොග් කළාවේ හරියට නියැලෙන කෙනෙක්ට ජීවිතය පරිපූර්ණ කරගන්න උවමනා පරිණත බව ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.. ලොකු පිරිසකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ප්‍රබල මාධ්‍යයක් විදිහට දැන් බ්ලොග් කලාව හඳුන්වන්න පුළුවන්.. ඒ නිසා ඒ හැකියාව නිතැතින්ම ඔබට ලැබේවි.
කියමනක් තියෙනවා මිනිහෙක් පරිපූර්ණ වෙන්න කළයුතු දේවල් තුනක් තියෙනවා කියලා… පොතක් ලිවීම, ගසක් සිටුවීම, පුතෙක් වැදීම…
බ්ලොග් ලිවීමත් එක්තරා පොත් ලිවීමක්.. ඊටත් තරමක් එහා ගිය දෙයක්…( මම හිතන්නේ මේකෙන් දෙකක් නම් මම කරලා තියෙනවා.. පරිපූර්ණ වෙන්න තව එකයි.. ) . මෙය පහසු කටයුත්තක් නොවෙනවා වගේම අමාරු දේකුත් නොවෙයි.. හිතේ හැඟීම් වලට ඔහේ පාවෙලා එන්න ඉඩහරින්න.. මේ දේවල් ගොඩාක් වැදගත් වෙන්නේ ලියන අයට වඩා ලියන්නේ නැතුව කියව කියව ඉන්න අයට..

පුද්ගලික ජීවිතය වේවා වෙනත් කරුණු වේවා කියවන්නාට කියවිය හැකිනම්, කියවා ජීවිතයට යමක් එකතුකරගත හැකිනම් එයයි විය යුත්ත. බ්ලොග් කියවද්දී විවිධ මාතෘකා දකින්න ලැබෙනවා.. තාක්ශණික, විනෝදයට බර, එදිනෙදා ජීවිත, ආදරය, ප්‍රේමය, බූට් එක, සෙක්ස්, වැල, රීයා කුණුහරුප, බේබදු කතා… වෙලාවකට පඩ,කක්කා,චූ සීරීස්, වෙලාවකට පුක කුණුහරුපයක්ද නැදද කියන තර්ක, වෙලාවකට 18+ 16+ සීරීස්.. පොඩිමෑන්, සෑමා , හිච්චි ඇඟිල්ල වගේ අපේ කාලයේ ඊ සයිමන් නවදත්තේ ගමලා ලියන ශෘංගාරාත්මක ලිපි, කතන්දර, දුමී අයියා,රංග අයියා, ඩොකී, මාරයියා මියුරු අක්කා හෝ බ්ලොගී අක්කා වැනි අයගේ පුද්ගලික ජීවිත වල රස කතා, නැත්නම් අරුණි ශපීරෝගේ දර්ශණයෙන් බිඳක්..අන්තිම පේළියේ අය, සීය ගණින අය, පූසෝ සෙට් එක, හැකාගේ අළුත් වැඩකෑලි, පුබුදු සිරිවංශගේ IT News, මල් කැකුළු වහේ නවතම දැනුම, තොරතුරු උල්පත්……… මේ බ්ලොග් අවකාශය ඇත්තටම ලොකු පුස්තකාලයක්.. බ්ලොග් ලියන/කියවන ඔබ ඇසුරු කරන දෑ හි වපසරිය අති විශාලයි..

එක දිනකදී ඔබ ගන්නා දැනුම කොතරම්ද..

අපි ලියමු. අපේ භාශාවෙන් කියවන්න අන්තර්ජාලයේ ඕනෑතරම් දේවල් තිබෙන බව අපි ලෝකෙට කියමු.. ජාතිය වෙනුවෙන් කරන්න තියෙන ලොකුම යුතුකම ඒකයි.

සුභ නව වසරක් වේවා !!!

පැතුම් කැලුළු විකසිත වී දිළිහේවා..
සැප සම්පත් ඔබ සැම වෙත ළං වේවා…
සැමසිත් තුළ මෙත් සිතුවිළි පැතිරේවා..
ඔබ සැමටම සුභ නව වසරක් වේවා…

සුබ නව වසරක් වේවා

Z ලකුණු හැදුවේ මෙහෙමයි

.
හැමදේටම කෑගහන්න පුරුඩුවෙලා ඉන්න අපේ අයට ලොකු ප්‍රශ්ණයක් නේ මේ Z ලකුණ හැදුවේ කොහොමද කියන එක..
මෙහෙමයි ඒක වෙන්නේ.. පැරණි නිර්දේශයේ ලකුණුත් නව නිර්දේශයේ ලකුණුත් එක්තරා ක්‍රමවේදයකට එකතු කිරීමෙන් තමා Z අගය නිර්ණය කරන්නේ.. එතකොට ඒ ලකුණු ඒකාබද්ධ කරන්නේ මෙන්න මෙහෙමයි..

ඇත්තටම බැරිද ?

මගේ මේ කෙටි ලිපියට පාදක වන්නේ මේ ලිපියයි....

“මේ සම්බන්ධව අදහස් ප්‍රකාශකළ විභාග කොමසාරිස් වරයා ප්‍රකාශකලේ “අසමසම විභාග අංකයක්” නිර්මාණය කිරීම අපහසු බවත් වෙනත් විභාග වල අංක එක සමාන වන අවස්ථා ඇති බවත් තමාගේ විභාග අංකය නිසි පරිදි ඇතුලත්කර ප්‍රතිඵල බැලීම සිසුන්ගේ වගකීමක් බවය.” උපුටාගැනීම ඉහත සබැඳියේ ලිපියෙනි…

සැබැවින්ම එසේද.. එදා සිට මෙදා දක්වා උපන් හැම දෙනාම අංක 9කින් නිරූපණය කළානම් විභාග අංකයට මෙවැන්නක් කළ නොහැකිද ?

මොකෙක්වත්ම නොවෙන මම කරන පුංචිම පුංචි යෝජනාව බලන්න…
මම මේ යෝජනා කරන ආකාරය 2999 දක්වාම… කැමතිනම් ඊටත් කල් භාවිතා කළහැකිය.

විභාග අංකය කොටස් හතරකි, අවුරුද්ද|විශය ධාරාව|පළාත|අංකය

අවුරුද්දේ මුල අගය වෙනස් වෙන්නේ තව අවුරුදු 988කට පසු නිසා ඒගැන සිතීම උවමනා නැතය යන්න මම සිතමි..

එසේනම් ඉලක්කම් තුනකින් අවුරුද්ද නිරූපණය කළ හැකිය.
දැනට පවතින විශය ධාරා 4 නිරූපණය කරන්නේ
කළා : A
වාණිජ : C
ගණිත : M
ජීවවිද්‍යා : B

පළාත් 9 ට වෙන වෙනම දක්වනවානම් වාහන වල නව අංක ක්‍රමය ආදේශකරගන්න හැකිය.. එනම්

WP, CP, EP, SP, NP, UP, NC, NW, SG. ලෙසය

අවසානයට සරල හැඳුනුම් අංකයක් ඉලක්කම් 5ක පමණ…

උදා: බස්නාහිර පළාතෙන් ගණිතයට ඉදිරිපත් වෙන සිසුවෙක්ට ඉදිරි වසරේ ලැබෙන අංකය සලකමු…

012MWP12569

අංකයේ මුළුදිග ඉලක්කම් 11ක් වුවත් විශේෂයෙන් මතක තබාගත යුතුවන්නේ අංක 5ක් පමණි.. ඉතිරි අංක එම සිසුවාගේ මිතුරන් සැමටම පාහේ පොදු වූවකි.. මෙම අංක ක්‍රමයෙන් එක පළාතක සිසුන් 99999ක් එක් විශයකින් විභාගයට ඉදිරිපත් වුවත් කිසිඳු ගැටළුවක් ඇතිනොවේ .. එම සීමාව ඉක්මවන කල්හී කළයුත්තේ අවසාන අංකය අංක 6ක් කිරීමය එවිට 999999ක් දෙනා පහසුවෙන් හැසිරවිය හැකිවන අතර පරිගණකගත කිරීමේදීද වඩා පහසුකම් සැලසෙනු ඇත.

එක පලාතක 999999 දෙනෙක් උසස්පෙළ එක් විශයකින් පමණක් ඉදිරිපත් වේනම් සාමාන්‍ය තත්ව යටතේ විභාග පැවැත්වීමට වඩා එම පළාතේ විසඳීමට දැඩි අර්බුදයක් තිබෙනු නොඅනුමානය.. 😛 .

Read more: http://www.gossip9.com/2011/12/blog-post_28.html#ixzz1hoKEP3aJ

ද සෙන්චරි,,,

හැම බ්ලොග් කරුවෙක්ම ආසාවෙන් බලාපොරොත්තුවෙන දවසක් තමා පෝස්ට් 100 සම්පූර්ණ වෙන දවස. ඕං මටත් එහෙව් දවසක් උදා වෙලා.. අතීතාවර්ජනයකට හොඳම වෙලාව කියලා හිතෙන නිසා මේ සටහන තබන්න හිතුවා..

2010 අවුරුද්දේ මම ඕපන් ආර්ක් ආයතනයේ ඉගෙනගනිමින් හිටියා.. පලවෙනි සෙමෙස්ටරයේ තවත් දවසක internet and world wide web subject එක උගන්නමින් සිටි සධානා රණසිංහ මහත්මිය බ්ලොග් පිළිබඳව සාකච්ඡා කලා.. බ්ලොග් පිළිබඳ කලින් අසා තිබුණත් හරියාකාර දැනුමක් ලැබුවේ එතැනින්.. පසුව blogger හී Feel Everything on Earth නමින් බ්ලොග් අඩවියක් ආරම්භ වෙනවා.. දැනට එය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. නමුත් බ්ලොගර් වල නිසි ප්‍රයෝජනය ලැබීමට තරම් දැනුමක් මට ඒ දිනවල නොතිබුණු නිසාවෙන් එහි ලිවීම දැඩි සේ වෙහෙස කරන්නක් උනා. UCSC Converter එකත් එක්ක ඔට්ටුවෙමින් කොපි පේස්ට් කරමින් ටයිප් කළ ඒ අතීතය ඇත්තෙන්ම තරමක් අසීරුයි. පසුව මම ගූගල් සයිට් වලට මාරු උනා.. නමුත් එයද හිතු තරම් සාර්ථක උනේ නෑ..
දෙවැනි සෙමෙස්ටරයේ අපට නැවත හමුවන්නේ අති ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක්, දක්ෂ ගුරුවරයෙක් වූ කුමුදු ලාල් පින්තු ගුරු පියාණන්ය.. එතුමා සිසුන්ගෙන් ඉල්ලීම් කීපයක් කළේය.. එයින් එකක් වූයේ තමාගේම බ්ලොග් අඩවියක් අරඹා එහි සිංහලෙන් ලිපි ලියන එකය.. අනෙක නම් wikipedia වලට සිංහලෙන් ලියන ලෙසය.

එතුමා ජීවත්ව සිටි අවසන් මාස තුන හතරේ සිදුකළ එතුමාගේ එම ඉල්ලීම් මා දකින්නේ එතුමාගේ මෙහෙවර අනාගත පරපුරට බාරදීමක් ලෙසය..
තවද එම බලාපොරොත්තු ඒ කාලයේම ඉටුකිරීමට හැකිවීම පිළිබඳව. අප පන්තියෙන් බිහිවූ බ්ලොග් කරුවන් සියලුදෙනාම ආඩම්බර විය යුතුය.

කෙසේ හෝ වර්ඩ්ප්‍රෙස් කරා යොමුවීමට මාහට මඟ පෙන්වන්නේද කුමුදු පින්තු ගුරුපියාණන්ය..
ඒ අනුව 2010-මැයි-18 දින පැරණි බ්ලොගයේ තිබූ සියළු ලිපිද පිටපත්කරගනිමින් (එක් ලිපියක් හැර) මෙම බ්ලොග් අඩවිය ඇරඹීම සිදුවිය…

බ්ලොග් අඩවියක් තිබුණත් එය මිතුරන් අතරේ පමණක්ම විය… බ්ලොග් අඩවියක් ප්‍රසිද්ද කරන ආකාරය ගැන දළ වැටහීමක් එවකට නොතිබූ නිසා යන එන අයද බෙහෙවින් සීමා විය.. පෝස්ටු 50 ඉක්මවද්දී පවා ආ ගිය අය 5000කටත් අඩු විය..

ගීතක දිල්රුක්,සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ හා ලාංකීය සිතුවිලි සිංඩි පිළිබඳ කියාදුන් සහෘද බ්ලොග් කරුවාය.(එවකට බ්ලොග් නොලියූ ජනප්‍රියම බ්ලොග් කියවන්නා).

මේ හරහා මගේ අදහස් වැඩි පිරිසක් අතරට ගෙනයාමට හැකිවූ අතර නව මිතුරන් පිරිසක් හඳුනාගැනීමටද හැකි විය..

මගේ බ්ලොගයේ වැඩිම වීව්ස් ගණනක් (10782) ක් වාර්තාවන පොස්ටුව පිළිබඳ මාහට කිසිදා සතුටු විය නොහැක.. ඒ මා බ්ලොග් කළාවට යොමු කරවූ කුමුදු පින්තු ගුරුතුමාගේ අභාවය දැනුම්දීමට ලියන ලද පෝස්ටුව බැවිනි.

මගේ ජීවිතයේ සිදුවූ හැම වෙනස්කමක් ම මාගේ බ්ලොගය කියවන ඔබ හා බෙදාගත්තෙමි..
ඉදිරියට මීට වඩා හරව්ත් ලෙස බ්ලොග් කළාවේ නියැලීමටත් රසවත් ජීවන අත්දැකීම් ඔබ හා බෙදාගැනීමටත් මම බලාපොරොත්තු වෙනවා..

එහෙනම් එන්න.. මේ පැත්තේ

ගඩාෆි – කාට කාටත් හොඳ උදාහරණයක්

හොඳ ලිපියක්… ගඩාෆි මැරීම පිළිබඳව මට ඇත්තේ දෙබිඩි මතයක්.. ඇතැම්විට ඔහු පැනවූ සීමා එරට තත්වය හමුවේ සර්ව සාධාරණ වූවා වෙන්න පුළුවන්… මොකද එරටට තිබූ අභියෝග හමුවේ එළෙස තනි පුද්ගල හිතුවක්කාර පාලනයක් අවැසි උනා වෙන්න පුළුවන්. මේ පාලනය හිතුවක්කාර වූ නිසාම එයට එරෙහි කැරලි සාමාන්‍යයි.. කැරැල්ලේ මුල කතාබහක් නිසා නිදහස සීමා කලා විය හැකියී. දැන් ලිබියාව තියෙන තැනට හේතුව ගඩාෆි බව අවිවාදයක්.. එතුමා එරට ජනතාව වෙනුවෙන් හොඳ රටක් හදා දී තිබෙනවා.. නමුත් ඒකාධිපතින්ට උරුම අවසානය ඔහුටත් හිමිඋනා..

තවත් මෙවැනි පාලකයන් මෙලොව සිටින බව අමතක නොකළ යුතුයි… ජනතාවට කළහොඳ අමතක වෙන බව ඒ පාලකයින් දැනගත යුතුයි.. කොතරම් හොඳ මවා පෑවත් මැරකම්, බඩුකාරකම් ජනතාව ඉවසන්නේ කෙටි කාලයයි.. එවිට තමා වටේ තමන්ගෙන් පෝශණය වන මැරයින්ම ජනතාව හා එක්ව තමාගේ ගෙල දැලි පිහියකින් ටික ටික කපනු ඇත..
තමා තුටුකළ ඒ අඟනන් රූපවාහිනී වල තමාට එරෙහිව කියවන අතරම තම පිළිමලුන් සමඟ යහන්ගතවනු ඇත.. තමන්ගේ ගුණ වයන ගයන අය එදාට අපි නිදහස් උනා කියා ගයාවි. මොහොතකටවත් ඔබ කළ සේවය මතක නැතිවනු ඇත.
එදා ඔබ පැමිණෙද්දී දැඩි රැකවල් වලින් එහා ඔබට ආදරයෙන් ඔබේ අත ස්පර්ශ කරන්නට පොරකෑ, තම දරුවා ඔබ අතට දෙන්නට පොරකෑ ඒ ජනයාම ඔබට ගල්, මුල්, කෙළ ගසනු ඇත.
මෙළෙස දුක් විඳින්නට ඇතැම්විට ඔබාමා,පූටීන්….. ආදීන්ටද සිදුවනු ඇත.. එසේ නොවන්නට පතමි. ඒත් මට ලෝකය වෙනස් කරන්නට බැරිය.

ගෙයක් හදනවාද… එහෙනම් මේ ටික ගොඩක් වැදගත්වෙයි.. !!! 2 – පළමු පියවර

කලින් කිව්වා වගේ හොඳට සූදානම් උනාම වැඩ අරඹන්නයි තියෙන්නේ..
අත්තිවාරම ඔබේ නිවසේ වගකීම් සහතිකයයි.. සැලසුමේ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ ඉදිකරනවානම් අදාළ කොටසේ මතුපිට පොළොව එක මට්ටමකට ගැනීම වැදගත්. පේව්මන්ට් දැමීමේදී නැවත මට්ටම් කරනවාට වඩා යන්ත්‍රයක් යොදා කරගැනීම ලාබදායකයි.

අත්තිවාරම කැපීමට සුබ නැකතක් බැලීම වැදගත්ය. නැකැත් අනුව නියමිත ස්ථානයේ පිරිසිඳු සිතින්, මේ නිවසේ වෙසෙමින් මට මුළු ලෝකයටම යහපතක් කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් මුල්ගල තබන්න. නිදන්ගල තැන්පත් කර ගෙපළ හෙවත් අත්තිවාරමට අවශ්‍ය කාණු කැපීමට සේවකයින් යොදවන්න. කාණු කපනවිට මුළුපරස් පිළිබඳ ඔබද අධීක්ශණය කරන්න. මෙය බොහෝදෙනෙක් දන්නා කරුණක් වුවද මෙහි විස්තර කරමි.සැළසුමේ විශේෂයෙන් සඳහන් කර නොමැතිනම් බිත්ති දෙකකින් සැදෙන සෑම මුල්ලකම කෝණය අංශක 90ක් විය යුතුය. එසේ නොමැති වුවහොත් කපරාරුකිරීමේදී,ටයිල් කිරීමේදී හා සිවිලිම ගැසීමේදි විවිධ ගැටළු ඇතිවේ. රූපයේ දැක්වෙන ආකාරයට නිවැරදිව මුලුපරස් සකසාගත යුතුමය.

මෙයම බිත්ති බැඳීමේදීද මීටත් වඩා හොඳින් බැලිය යුතුය.
පයිතගරස් ප්‍රමේයය භාවිතා කිරීමෙන් පහසුවෙන් මෙය බැලිය හැක. බිත්ති දෙක බැඳීමට පෙර නූල් අදින අවස්තාවේ නූල් දෙක හමුවන ස්ථානයේ සිට එක් නූලක් දිගේ මිනුම් ඒකක 3ක් ද, අනික් නූල දිගේ ඒකක 4ක්ද ලකුණු කරන්න. මේ සලකුණු දෙක අතර දුර ඒකක 5ක් වන පරිදි නූල් දෙක වෙනස් කළ යුතුය.

මිනුම් ඒකකය හැකිතාක් විශාලව ගන්නා තරමට නිරවද්‍යතාව වැඩිය. 3,4,5 වෙනුවට 6,8,10 ලෙස ගැනීමට හැකිය. මීටර් වලින් හෝ යාර, අඩි.. මේ ඕනෑම මිනුම් ඒකකයක් වලංගු වේ.
මෙසේ කරනවිට අනිවාර්යයෙන් එකිනෙකට මුහුණලා තිබෙන බිත්ති සමාන දිගින් යුත් වන පරිදි සැකසේ… නිවසේ සැකිල්ල බැන්ද පසු නිවසට වහලයක් අවැසිය…. මතුසම්බන්ධයි

ගෙයක් හදනවාද… එහෙනම් මේ ටික ගොඩක් වැදගත්වෙයි.. !!! 1 – සැරසෙන්

ඉතින් කොහොමද… ඔන්න පොරොන්දු උනා වගේම මම ගේ හදන්න ගිහින් ඉගෙනගත්ත දේවල් ඔයාලා එක්ක බෙදාගන්නවා.. මේවා දැනගෙන ඉන්න එකනම් අනිවාර්යයි..

ගෙයක් අළුතින්ම හදනවානම් හොඳ සැලැස්මකට අනුව මුළ ඉඳන් අතේ තිබෙන මුදලට සරිලන විදිහට කරගෙන යන්න.. කවදාවත් අතේ තියෙන සල්ලි සීමාවේ හැමදේම කරගන්න හිතන්න එපා… වැදගත්වෙන්නේ නිවසේ කල්පැවැත්ම, නිමාව, සහ අවසන් වටිනාකමයි.

තමාගේ වත්කමේ හැටියට දළවශයෙන් සුදුසු නිවසක් සැලසුම් කරගන්න එක තමා වඩා හොඳ..
මොනතරම් සල්ලි තිබුණත් සාමාන්‍ය අපිදෙන්නයි දරුදෙන්නයි ඉන්න සත්තරන් පවුලකට තනි තට්ටුවේ නිවසක් හොඳටම සෑහෙනවා කියන එක තමා මගේ මතය. කාමර තුනක් හෝ හතරක්, ඉඩකඩ ඇති සාලයක්, කෑම කාමරයක්, කුස්සියක්, නාන කාමරයක්, ගරාජයක්, වැරෙන්ඩාවක් සහ කැමතිනම් බාහිරව තවත් වැසිකිලියක් නානතොටක්, රෙදි සෝදන ස්ථානයක් වගේ අමතර දේවල් නිවසේ සුන්දරත්වය විනාස නොවන විදිහට සුදුසු තැනක හදාගන්නත් බාදාවක් නෑ.

මේ හැමදේම සකස්කරලා නිවසක් හදාගන්න සහ හවසට විවේකීව ඉන්න ගෙවතු පොඩ්ඩකුත් තිබ්බනම් තව වෙන මොනවද ඩලා…

මේ ටික සේරම කරන්න හොඳ ඉඩම් කෑල්ලක් උවමනායි.. මේ දවස්වල නම් මම ජීවත්වන ප්‍රදේශයෙන් ඉඩමක් ගන්න එක ජීවිතේ ලොකුම ලොකු වටිනා ආයෝජනයක් කියලා මට හිතෙනවා.. මේ ප්‍රදේශයේ ඉදිරි වසර කීපයේ නියමිතව තියෙන සංවර්ධන සැලසුම් සලකනකොට ලංකාවේ මිලෙන් අධිකම ඉඩම් තිබෙන පළාතක් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. ඒත් මේ දවස්වල ඒ තරම් ගණන් නෑ..

ඉඩම ගද්දී විශේෂයෙන් පර්චස් 15ට වැඩියෙන් ගන්න පුළුවන්නම් හොඳයි. හොඳ අනුමත වෙච්ච සැලසුමකට මම උඩ කියපු ගෙදර හදාගන්න කරදරයක් නැතිවම පුළුවන් එහෙම උනොත්. ඉඩම් වලට ඔප්පු ක්‍රමය නැතුව පරිගණක ගත ක්‍රමයක් දැනටම ආරම්භ වෙලයි තියෙන්නේ… මේ ආකාරයේ ඉඩමක් නම් පත්තිරු පරික්ෂාකරන එක අනවශ්‍යයි ඒවා හොඳටම නිරවුල් වෙලා තියෙන නිසා.

ඉඩමේ පිහිටීම තමා ඊගාවට.. පාරෙන් මඳවශයෙන් ඉස්සිලා තියෙන ඉඩමක් වඩාත් සුදුසුයි.. හේතුව වැසිජලය බැස්සවීමට පහසුව්මයි. හැබැයි පාරෙන් ජූන්ජක් පහත ඉඩමක් හරි ලාබෙට හම්බෙනවනම් ගන්න. පස් ටිකක් පුරවලා ගොඩදාගන්න පුළුවන්නේ.. පොඩ්ඩක් සිරස පාච්චිකරලා බලන්න මොකක්ද ලාබම කියලා.

ඉඩම බලද්දී තව දේවල් ගොඩාක් බලන්න තියෙනවා. ඉඩමට ලොකු ටිපර් එකක්, බැකෝ එකක් පහසුවෙන් ගේන්න පුළුවන්ද කියලා බලන්න.මොකද ගල් වැලි සිමෙන්ති ආදී දේවල් ගේන්න මිනිස් ශ්‍රමයත් යොදන්න උනොත් (Manual), ඒක වියදම් අධිකම ඉදිකිරීම් අයිතමයක්. ඒ එක්කම මේ ඉදිකිරීම් බහුතරයක් ද්‍රව්‍ය උසස් තත්වයෙන්,පහසු මිළට ලබාගන්න තැනක් අහළපහළ තියෙනවද කියලාත් බලන්න. ගමනාගමන පහසුකම්, පාසැල්, පොදු පහසුකම්, තෙකලා විදුලිය, නළ ජලය ආදියනම් හැමෝම හොයනවානේ.
අද ලෝකේ දියුණුයි මේවා හැරුණුකොට තවත් පහසුකම් රැසක් ගැන සෙව්වාට වරදක් නැත. දුරකතන පහසුකම් ලබාගත හැකිද, දුරකතන මාර්ග ඔස්සේ අන්තර්ජාල පහසුකම ලබාගත හැකිද(ADSL), ජංගම දුරකතන සංඥා තත්වයන් (එයිනුත් 3G හෝ 4G නම් වඩා හොඳයි), රූපවාහිනී ගුවන්විදුලි සංඥා තත්වයන් (අවම වශයෙන් ප්‍රධාන නාලිකා කීපයවත්) ආදී දැ මේ හොයනවානම් හොඳයි ගොඩට වැටෙනවා.

ඉඩම වටේ දැනට ගෙවල් නැති එක තරමක වාසියක්.. අපේ ඉඩමේ ළිඳ, වැසිකිළි වල, කුණුවල, අපජලය වල කියන මේවා ස්තාපනය කරද්දී රජයේ නීති රෙගුලාසි සැලකිල්ලට ගන්න උවමනා නිසා අහල පහල ලිං, වලවල් ගැන වදවෙන්නේ නැතිව අපේ උවමනාව ඉස්ට කරගන්න පුළුවන්. ඒත් අපි කවුරුත් මනුස්සයෝ නිසා අසල්වැසි ඉඩම් හිමියෝ හිර වෙන්නේ නැතිවෙන්න පුළුවන් තරම් සැලකිලිමත්වෙලා මේ වැඩේ කරන්න ඕන.

ලිඳත් අනික් වලවල් අතරත් නියමිත දුර තැබීම අතිශය වැදගත්. සැලසුම් හදලා දෙන මහත්තයෙක්ට කිව්වම මේ හැම එකම හිතලා හොඳ සැලසුමක් ඇඳලා දෙයි. වාස්තු විද්‍යානුකූලව වැඩේ කරගන්න උත්සාහ කරන එක කොයිකටත් හොඳයි.වැසිකිළි වළට මීටර 10-15 අසලවත් ලොකු ලොරියක් පැමිණීමට තරම් ඉඩ තබාගැනීම වටී. වළ උතුරා යන අවස්තාවක ගලි රථයක සේවය ගෙන ගැටළුව විසඳාගත හැකිය. ප්‍රාදේශීය සභා සහ පුද්ගලික ආයතන ගණනාවක් මෙම සේවය ලබාදෙයි. මේ සියළු වළවල් වලට කොන්ක්‍රීට් සිලිංඩර බැස්වීම වඩා හොඳ විසඳුමක්ය. ගලිරථ සේවය ලබාදෙන්නේද මෙසේ නිමවූ වළවල් සදහාය

ඔන්න සැළසුමත් හරි. ඔය සැළසුම අනුමත කරගන්න එකත් වැදගත්.

මේ ටික කරලා අතේ ඉතුරුවෙන මුදලින් මේ සැළසුමේ කොයිතරම් දුරකට වැඩ කරගන්න පුළුවන්ද කියලා දළ ඇස්තමේන්තුවක් හදාගන්න. හැම තිස්සේම 5-10 % අමතර වියදම් යටතේ වෙනම තියාගන්න.. එතකොට හිරනොවී වැඩටික කරගෙන යන්න පුළුවන්.

අතේ තියෙන මුදලින් බඳින්න පුළුවන් එක ගලද.. ඒ ගල සැලසුමේ හැටියට බඳින්න. ඒක ඉතුරුවක්. ආයේ කඩලා බිඳලා හදන්න ගියාමත් ඒ විනාසවෙන්නේ ඔයාලා දහදුක් විඳලා හම්බකරපු සොච්චම බව මතක තියාගන්න.. එක බ්ලොක් ගලක් කපරාරුව එක්ක කඩලා දාන්න උනොත් එතන වෙන පාඩුව කොතරම්ද දන්නවද. එක න්ලොක් ගලක් රුපියක් 30ක් පමණ වෙනවා. එක ගලක් බැඳීමට රුපියල් 10ක්වත් වැයවෙනවා.වර්ග අඩියකට ආසන්න ගලේ දෙපස කපරාරුවට ශ්‍රමය රුපියල් 40-44 ක් වෙනවා. සුද තැබූ එකක් නම් මේ අගය රුපියල් 50ක් පමණ වෙනවා. අමුද්‍රව්‍ය වියදමත් රුපියල් 40ක් පමණ වෙනවා. කැඩීමේ ගාස්තු වර්ග අඩියට 20ක් පම්ණ වෙනවා. මුළු වියදම රුපියල් 170 ඉක්මවනවා. ඒ කියන්නේ එක බ්ලොක් ගලක් දෙපස කපරාරු සමඟ කඩා ඉවත්කරන පාඩුව රුපියල් 170ක්. වේලක් හොඳට කාලා තේ එකකුත් බොන්න තිබුණ සල්ලි නේද. ඒ එක ගලක පාඩුව පමණි.
මේ හැම ඉදිකිරීමක්ම ඔබට කරගන්න අපහසුයි. ඒකට මිනිස් ශ්‍රමය මිලදීගන්න වෙනවා. (තේරෙන සිංහලෙන් කියනවානම් බාස්ලා සහ ගෝලයෝ වැඩට යොදවාගත යුතුයි) නිවසක් ඉදිකරද්දී නානාවිද බාසුන්නැහේලාගේ සේවය උවමනා වෙනවා. මේසන් බාස්ලා, වඩු බාස්ලා, ඉලෙක්ට්‍රිකල් බාස්ලා,පයිප්ප බාස්ලා,ටයිල් බාස්ලා,පොටි බාස්ලා වගේ ගොඩාක් අය මේ වැඩේදී උවමනා වෙනවා. අදකාලේ මේ කවුරු උනත් බොහෝවිට කරන්නේ වංචාව. නොකරන අයත් ඉන්නවා. ඒත් එහෙම අය හොයන එක බොහොම අමාරුයි. හෙව්වත් ඒ අයට වැඩ අධික නිසා දිනයක් වෙන් කරවගන්න අපහසු වෙන්න පුළුවන්. ඒනිසා බොහෝම ඉවසීමෙන් හරි කෙනා තෝරගන්න ඕන. (කසාද බඳින්න තෝරන කෙනා තේරුවා වගේම පරිස්සමින්). වැඩේ බාරදෙන්න කලින් ඒ කෙනා කලින් කරපු වැඩ කීපයක්ම බලන එක හොඳයි. මගේ අත්දැකීමෙන් දන්න දේ තමා ගොඩාක් දවස් පඩියට වැඩ කරන අය දවසක වැඩ දවස් තුනක් විතර ඇදීම. මේකෙන් ඔබේ ඉදිකිරීමේ ශ්‍රම වියදම 300%ක වැඩි අගයක් ගන්න ඉඩ තියෙනවා. මුදල්මය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ඔබ රැවටීමට ලක්වීම ඔබේ ප්‍රතිරූපයට හානිකරයි. මේ නිසා තමා හොර බාස්ලාට අරින සාස්තරේ ඉගෙන ගන්න උවමනා වෙන්නේ. ඔබ ඉදිකරන කොටස පිළිබඳ හොඳ අවබෝදයක් ප්‍රථමයෙන් ලබාගන්න. මේ දේවල් ගැන හොඳින් දැනුවත් කෙනෙක්ගෙන් හොඳින් අසා මේ හැම දේ ගැනම හොඳ අවබෝධයක් ලබා තිබීම ලොකු වාසියක්. ඔබේ ඉදිකිරීමේ තිබෙන විශේෂතා හඳුනාගන්න. හැම අංගයක් ගැනම සැලකිළිමත්වෙන්න. සිවිලම උළුවහු ආදී කොටස් ස්ථාපනය කරන ආකාරය ගැන කල්තියා සිතන්න.
වැඩ පටන්ගන්න පෙර හොර බාස්ලාට අරින සාස්තරේ එක පදයක් කියාදෙන්නම්..
සාමාන්‍යයෙන් මුළු වැඩේටම අදාළව මිළක් නියම කර‍ගැනීම සහ ගතවන දින ගණනට අදාළව මිළ තීන්දු කරගන්න පුළුවන්. ඔබට අධීක්ශණය වඩාත් අපහසුනම් කොන්ත්‍රාත් ක්‍රමය හොඳ වුවත් මෙහිදී දරන්න සිදුවෙන වියදම දෙගුණයකට ආසන්න වේ. හැම විටම වැඩබිමේ සිටිය හැකිනම් දවස් පඩි ක්‍රමයට යාම ලාබදායකය. ඒත් ප්‍රවේසමින්. මෙය අවදානමක් සහිතය ඒ අවදානම මම ඉහතදී විස්තර කළා නේද?. බයවෙන්න එපා. මම ඉන්නවනේ. මම කියාදෙන්නම් හිරකරන විදිහ. බාස්ලා ආණ්ඩු වගේමය. පොරොන්දු දහසක් දී වැඩේ ලබාගනී.. ආ දවසේ සිට කියන්නේ අනික් බාස්ලාගේ වැරදිමය තමාගේ ගුණය. අවසානයේ උන්ට හපන් මුන් ය. මේ බොරදියේ මාළුබාගන්න ඔබ දක්ශ විය යුතුය. ඔබ කරන්න යන වැඩකොටස හොඳින් විස්තර වන ගිවිසුමක් සකසාගන්න. එයට ගතවන දින ගණන දළ වශයෙන් අවබෝධයට ගන්න. ඔබේ නිවසේ වැඩට මුලින්ම එන්නේ පෙදරේරුවාය. සාමාන්‍යයෙන් එක් අත් උදව්කරුවෙක් හෝ දෙදෙනෙක් ඔහුට අවශ්‍යවිය හැක. මුලින් දෙන පොරොන්දු රොත්තේ අනිවාර්ය අංගයක් වන්නේ “මම මේක මාසෙන් කරලා දෙන්නම් මහත්තයා.” නමුත් සමහර ඉදිකිරීම් අංග එලෙස අපිට හදිස්සියට කළ නොහැකිය. කොන්ක්‍රීට් ඉදිකිරීම් එළෙස කල්මැරීම උවමනා වන අංග වේ. බුද්ධිය මෙහෙයවා සුදුසු කාල සීමාව තීරණය කරගෙන 10%ක පමණ අමතර කාලයක් තබා එම කාලය ගිවිසුමේ ඇතුළත් කරගන්න.ගිවිසුම නීතිමය වශයෙන් ශක්තිමත්වීම අවශ්‍යම නැත. මෙහිදී අපගේ අරමුණ බාසාට මානසික විලංගුවක් දැමීම පමණි.
මේ ගිවිසුමට එකඟවීමට අදිමදි කරන්නේනම් රුපියල් 100ක් පමණ දින පඩිය වැඩියෙන් කියන්න. බටර් ගෑම, හුණුගෑම, මුරුන්ගා අත්තේ තැබීම වැනි දේවල්ද හොඳ ප්‍රතිපල ගෙන දේ.ගිවිසුමේ කාලය යන්තම් එහාමෙහාවුනු පමණින් බාසාගේ බෙල්ල මිරිකීම වැරදිය. වැඩ අවසානයේ ඇඳුමක් දෙකක් තෑගිදීම, රුපියල් 1000ක් පමණ වැඩිපුර දීම මිනිසත්කමේ නාමයෙන් ඔබටද යහපතක් ගෙන දෙන පුණ්‍යකර්මයක් වනු ඇත.ඒ කොතරම් හොර කළත් ඔවුන්ද දරුපවුල් ජීවත්කරවන මිනිසුන් වන නිසාය.