කලින් දවසක කියලා ඇතිනේ ලහියා තෙල් ගහපු හැටි, ලහියා පොහොර දාපු හැටි වගේ කතා.. එන්න ඒවගේ මට වෙච්ච හු*නියම් කතාවක් තමා මේ බෙයියන් බීපු කේශ් එක.

මේක වෙද්දී මම වයස් අවුරුදු 6ක් වගේ ඇති.. අපේ තාත්තා ගුරුවරයෙක් නිසා මේ වෙද්දී අපි උන්නේ බොරලන්ද ධර්මපාල විද්‍යාලයේ ගුරුනිවාසයේ.. නොදන්න අය දැනගන්නකෝ. ඔය ජාතියේ නිවාස තියෙන්නේ ඉස්කෝල ඇතුළේ. ඉතින් පදිංචිය අමාරු ගුරුවරයෙක්ට මේකේ නැවතිලා පාසලේ වැඩකරන්න පුළුවන්. මේ වෙද්දී එකවසරේ ටීචර්ට අමානුසික ලෙස පහරදීම, එතුමියගේ සැමියා වෙච්ච විදුහල්පති තුමාට කොස්සෙන් පහරදීම, තාත්තාට සභාතොමෝ මැද හුරතල් විදිහට කුනුහරුපයක් කීම වගේ පොඩි පොඩි වීරක්‍රියා පමණක් නෙවේ අර ටීචර්ට පහරදීලා දුවගෙන ආවේ ගෙදර අය මාව දාලා කොහේ හරි ගිහින් ඇති කියලා හිතලා.. ගෙදරත් තිබුණේ ඉස්කෝලේ ඇතුලේනේ.. ගෙදර යද්දී මෙන්න බොලේ හැබෑවටම අම්මලා මාව දාලා දුර ගමනක් ගිහින් තිබුණා (හංදියේ නානගේ කඩේට) ඉතින් මක්කැයි කොරන්නේ සනික කෝප්පෙන් දමලා ඇරියා ඉස්සරහා ජනේලේ වීදුරුවට. ජනේලේ අම්බ්‍රැල්ලා පවුඩර්..(කුඩේ කුඩු) හරි සෝයි සන්තෝසේ බැරුවා.. අඩෝ කවුද යකෝ මගේ ඇඳුමේ රතුපාට ගාපු එකා.. ආ නෑ නෑ මේ මගේ අත ඩිංගක් කැපිලා (හොඳ ඩිංග.. තව ඩිංගෙන් මෙව්වා ලියන්න වෙන්නේ පොලිස් පොත් වල.) ඉතින් මේ වගේ මහා වීරක්‍රියා බොහෝමයක් කොරලා ඉන්න හින්දා තව වීරක්‍රියා කොරන එකත් කජ්ජක්ද..

අපේ අම්මට මම වාගේ නාහෙට නාහන පුතෙක් ඉපදෙන්න කිට්ටු කාලේ ඉඳන්ම පෙසර් තිබිලා තියෙනවා. මගේ පණපොජ්ජ බේරගත්තේත් අම්මගේ ජීවිතේ අනතුරේ දාලලු. තාත්තා මොනවා කීවත් අම්මා කියලා තියෙන්නේ ලහියව බේරගන්න කියලලු ඕං. අනික මම උපන්නේත් මහ කුඩුකේඩු දවසක. අම්මප මම ඩොකා උනානම් ඒදාට කවදාවත් වැඩට යන්නේ නෑ.(ඇයි යකෝ එදා මගේ උපන්දිනේනේ). ලහියා උපන්නේ දෙසැම්බර් 31 දාවක. එහෙමත් ඩොකෙක් තමා එදාට වැඩකලේ.. ආයෙත් පැන්නානේ පිට
ආ ඉතින් අපේ අම්මා ඒ දවස් වල පෙසර් පෙති බොනවා. පෙසර් පෙති ඉවර නිසා තාත්තා හිස් පෙට්ටිය පාමසියට අරන් ගිහින් ඔන්න ගෙනාවා අලුත් පෙති.. එතනින් එහාට ලහියට ගානකුත් නෑ කාටත් ගානක් නෑ. ඔන්න බෙහෙත් බොන වෙලාව.
“කෝ මේකේ තිබ්බ බෙහෙත්” මළා අතුරුදහන්.. නොදරුවෙක් වීමේ පාපයට මා ගොදුරු උනා.. “පුතේ ඔයා බිව්වද මේකේ තිබ්බ ඒවා ? ” …
අපි ආයේ කවදාවත් නෑ බෑ කියන මිනිස්සු නෙවේනේ.. ඉන්ටව් එකකට ගියත් හැම දේටම යැස් සෑර් කියල උස්සලා දෙනවනේ.. පස්සේ කියනවා “යස් බට්….”

ඉතින් කීවා “ඔවු මම බිවුවා කියලා”… කෙළියා තාප්පෙට.. බුම්..

දැන් ඉතින් මම මළා හා සමානයි.. ඔක්කොම එවුන් මගේ උගුරට ඇඟිල්ල දානවා.. ඕක්… ඕක්… ඈ ඈ ඈ ..
ටික වෙලාවකින් ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ … මිඩ් පයිස් නෝනා… අඳුරන ඇන්ටියෙක්.. මට මතුවෙච්ච මුල්ම ප්‍රශ්ණේ අපේ ගෙදර කොයි දොරෙන්ද මෙයාව ගන්නේ කියලා. (මහත නෑ බන් ඒ ඇන්ටි, අලිය තරම්).

ඉතින් පොඩි එකෙක්ට කරදරයක් උනාම ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ එතුමියනේ..
“මේ කොල්ලාත් කරන වැඩ. මිස් ඔහොම කබරයා දම්මලා හරියන්නේ නෑ.. ගේන්න වතුර ජෝග්ගු කීපයකුයි ලුණුයි”
කික්ම තමා. ඇන්ටි මාව තම්බයි වගේ..
මොනවද මේ කතා ගත්තා දියකළා පෙව්වා.. ඕක් ඕක්.. ඈ ඈ ඈ … ඊඉ හී හී හී..
පදමට ලුණුවතුර ජෝග්ගු දෙකක් බීලා කබරයා වෙච්ච ගමන් මගේ තත්වය සෝචනීය උනා.. ක්ලාන්තය… තාම බෙහෙතේ විස ගිහින් නෑ.. අනේ..
බෙහෙත් ගත්ත පාමසිය අඳුරන තැනක්. එතනම ඉන්නවා ඩොකෙක්. සාන්ත මහත්තයා.. (මට විටමින් සී පෙති දෙන නිසා සාන්ත මහත්තයා සෝයි) එතනින්ම මේකට කරන්න ඕන දේ අහන්න ලෙඩා සහ පිරිස ගියා එතනට.
එතනට ආපු පාමසියේ කොලුවා මෙන්න මෙහෙම කියපි තාත්තාට…
“සර්… සර් අර බෙහෙතේ අලුත් පෙට්ටිය තියලා හිස් පෙට්ටියනේ ගෙනියලා තියෙන්නේ”

Advertisements