අපේ ගෙදර හරි කලබලයකි.. එහෙන් මෙහෙන් නෑදෑයින් කිහිප පිරිසක් ම පැමිණ අපේ ගෙදර අහු මුළු වලට වී මොකක්දෝ කසු කුසුවකි..

දැන්ම කියනවද ?. අපෝ මට බෑ.. කොයි වෙලාවේ හරි කියන්න වෙනවනේ.. කොහොමද කියන්නේ…
තවත් වාහන රැසක් එයි… හ්ම්ම්ම් …
කවදත් කෙලින් කථා කරපු බාප්පා එක වරම ගෙතුළට එයි..
අම්මා, තාත්තා, අක්කලා දෙන්නා ඉන්න තැනට මා පසුකර හෙමින් යන ඔහු මොනවාදෝ කියයි… මට ලොකු මිනිස්සුන්ගේ කථා වලින් වැඩක් නැත.. මම පසෙකට වීමි.
ගෙදර එක කෑගැහිල්ලකි… හැමෝම අපේ ගෙදර අයව වට කරගෙනය..
හැමෝම ඔවුන්ව සනසවන්නට උත්සාහ දරයි..
ඒ අතරේ එක් අයෙක් මගේ ජංගම දුරකථනය ගෙන මොන මොනවාදෝ බලයි.. නෑදෑයෙක් නිසා මොනාවත් කියන එක හොඳ නැති නිසා මම එයද ඉවසමි..
දුරකථන ඇමතුම් කීපයක්ම ගත්තා… අපරාදේ ඊයේ රුපියල් 100ක් දැම්මේ… දවස් කීයක් කථා කරන්න තිබ්බ සල්ලිද.. එක කෝල් එකක් විනාඩි 20ක් වත් යන හැඩයි.
මොනා කරන්නද..
තව එකෙක් කොහෙදෝ හංගා තිබූ මගේ ඩයරිය ගෙන බලයි.. මට බය සිතුනි.. එහි ඇති අංකයකටද දුරකතන ඇමතුමක් ගන්නවා මම දැක්කෙමි.. දැන්නම් බඩු මාට්ටු.. අයියෝ අපරාදේ මේවා ඩයරියේ ලිව්වේ…මට සිතේ…
එහි මගේ මූණුපොත් ගිණුමට යන මුර පදයද ඇත.. එකෙක් අනිකාට එය පෙන්වයි.. බල්ලෙක් මෙන් කරබාගෙන සිටිමි.
මොනා කළත් මට ගුටිකන්න සිදුවේ.. සයිඩ් ගසා සිටීම යෙහෙකි.
මම සිතුදේ වෙයි.. මුන් මගෙන් නාහාම මූණුපොතට රිංගයි..
මගේ වෝල් එකට මගෙන් නාහා එක එක ඒවා පබ්ලිස් කරයි..
දැන්නම් ඉවසීමේ සීමාව නහුතයටම නැග ඇති මුත් මොනාවත් කිව්වොත් මට අම්බානක කන්න වෙන බව අත්දැකීමෙන් දනිමි.
එලියේ කට්ටිය මහන්සිවෙන ආකාරයක් දැනී ගෙයින් එලියට ආවෙමි..
සමහරු මාව දැක දැක අහක බලාගෙන යයි. ඔය හැටි මාව කොන්කිරීමට මම මොනාද කළේ…. ” තෝ මොනාද නොකළේ ” මේ පිළිතුර අහන්න අකමැති නිසා මම කට පියාගෙන සිටිමි.

මම පොඩ්ඩක් මඟ ඇර සිටියෙමි.
ටිකකින් මගේ මිතුරන් කීප දෙනෙක්ද එනු පෙනුනි.. ෂුවර් එකට මුන් කළ උදව් පදව් වලට හොඳට සංග්‍රහ කරන්නට කථා කරන්න ඇති. මුන්ට දැන් මගෙත් එක්ක මළ බව දන්නා නිසා පසෙකට වී සිටිමි. උන් සැවොම පාහේ බිම බලාගෙන සිටී.. මීයන් මෙනි.

වෙලාව රෑ 9.00 පහු විය. තවත් වාහන වගයක් එන බව ඇසුනි. ඒ කවුද.. ටිකක් ලොකු කාර් එකකි. සෙමින් සෙමින් හරවාගෙන අපේ ගෙදර මිදුලට එන එහි රියැදුරු නම් දැක පුරුදු එකෙක් නේවේය. වාහනයේ ලඟ මොන මොනවාදෝ කලබලයකි. සැක සංකා තිබ්බත් මට දැන්නම් බොහොම බය නිසා මම පොඩ්ඩක් මෙහාට වී සිටිමි. බෑ බෑ ඉන්න.. මොකද වෙන්නේ.. ඕන කෙහෙල් මලක්.. මට දැන් උන්නත් එකයි මළත් එකයි..
අර වාහනයෙන් බාන්නේ ලොකු පෙට්ටියකි.. ලේසි පහසු එකක් නොව මිනී පෙට්ටියකි.. මොන මගුලක්ද යකෝ මගේ ගෙදරට මිනී පෙට්ටි ගේන්නේ .. බොලාට ඔල්මාදෙද.. මම කෑගසමි. තත්වය වෙනදා මෙනි. මම කියන දේ කවුද ගණන් ගන්නේ.
අඳෝනා මැද්දේ පෙට්ටිය විවෘත කරයි.. මේ කවුද ? මට හරියට පේන්නේ නෑ.. හ්ම්ම් දැකලා පුරුදුයි වගේ..
දෙවියනේ මේ මම නේද? ඔව් ඔව් මේ මම. ඒත් මම මේ ඉන්නේ.. එතකොට මේ කවුද ? මේ මම නම් මම කවුද?

මම ලෝකය හැරගිහින්..
හ්ම්ම්ම් මම දන්නේවත් නෑ.. අනේ අනේ.. කලින් කියන්න තිබ්බානේ… දැන් මොකද කරන්නේ.. බලමු ආයේ රිංගලා..
හුටා මේක ඇඟක් නෙවෙයි නේ.. පුළුන් ගොඩක්.. ෂික්.. ඉතුරු කෑලි ටික හොයාගන්න මාර කට්ටක් කන්න වෙන්නේ. ඊට හොඳයි මැරෙනවා..
ඔන්න ඔහේ අල්ලලා දාමු අප්පා.. කට්ටියට කියලා යන්නවත් බැරි වුනා..
තාත්තා , අම්මා වෙලාවට බෙහෙත් බොයිද දන්නේ නෑ.
අක්කගේ වෙඩින් එක කරලා දෙන්නත් බැරිවුනා නේ.
ණය දෙක තුනකුත් තියෙනවා… අයියෝ… හෙට දෙන්න ඕනි නේද ?
දැන් කවුද දෙන්නේ..
ජීවත් වෙලා හිටිය කාලේ මම හොල්මන් වලට හෙන බයයි… මම කාවවත් බය නොකර යන්න ඕනි.. පන්සලකට වෙලා ඔය පිනක් දහමක් කරගෙන ඉන්නවා..

ලහිරු……..
ඕයි නැගිටිනවා….
අද ක්ලාස් නේද ?
අම්මාගේ කට හඬය…
මැරිලාවත් ඉන්න නැති හැටි… ආ අයියෝ හීනියට හීනයක්නේ දැකලා තියෙන්නේ…
යන්තම් ඇති… දැන්වත් ඔය කොරගන්න බැරිවෙච්ච වැඩ ටික කරගන්න ඕනි..

“පසන්” ලියන “මගේ සඳ” බ්ලොගයේ පළවූ “මගේ මල ගම දා…….” ඇසුරෙනි.

 

Advertisements