මේ දිනවල ලාංකීය සිනමාව ගැන කසුකුසු මතුවෙමින් පවතින නිසා මේ ගැන මාගේ පුද්ගලික අදහස් කීපයක් පළකරනු කැමැත්තෙමි.

සාපේක්ෂව ගත්කළ අවංකව කණගාටුවෙන් වුවද කිවයුතුව තිබෙන්නේ දැන් දැන් ලාංකීය සිනමාව නමින් ගෙනයන අයිසින් වැඩ, පරික්ෂාවෙන් බලන්නෙක්ට හසුවෙන බවය. අතීතයේ සිට මේ දක්වා ලියැවුණු සිංහල චිත්‍රපට බහුතරයක් බොලිවුඩයෙන් ඈඳාගත් කථා තේමාවන් ඔස්සේ දිවෙන්නාවූ ඒවා වීමද ඒවායේ ගීත බොහෝමයක් හුදෙක් හින්දිගී තනු වලට බැඳි සිංහල වචන කීපයක්ද විම සෝච්නීයය. සමහර ඒවා කොපි කරන්නට ගොස් රජට නාගෙන ඇතුවා සේම ආඩම්බරයෙන් කිවයුතු පරිදි සමහර ඒවා තිබුණාට වඩා දහස් ගුණයකින් අලංකෘත වී තිබුණි. කෙසේ වෙතත් ඉන්දියාවේ පෙන්නා පෙන්නා පුස්කෑ රීල් එකක් මෙලෙස ලංකාවට විත් තිරගත වනතුරු ඉන්දියාවේ මොනා වෙනවාද කියා අවබොධයක් නොතිබූ සමාජයක. සිංහල චිත්‍රපටි ඉන්දියාවේ රූගත වූ කලෙක එසේ සිදුවීම යම් ආකාරයකින් සාධාරණීකරණය කළ හැකි වූවත්, ඉන්දියාවේ නළුවන් රඟපාන විටදීම අන්තර්ජාලයට එකතුවන, ඉන්දියාව සමඟ සමාන්තරගත ගමනක් යන, එදාට වඩා තර්කානුකූළ ජනතාවක් සිටින මේ කාලයේ, සුපුරුදු කොපි කිරීමේ කළාව හෝ සාම්ප්‍රදායික ප්‍රේම කථා තේමාව කොයිතරම් දුරට වලංගුද යන්න දහස් වාරයක් සිතාබැලිය යුතුව තිබේ.

මෑතකාලීන ජාත්‍යන්තර සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට උදාහරණයකට ගෙන බලමු.
අපිට වඩා ආසන්න බොලිවුඩ් සිනමාව නිසා එයින් උදාහරණ ගනිමු.
3 ඊඩියට්ස්….(3 Idiots) – අධ්‍යාපනය, ඉගෙනීම ආදී දේ වටා ගොඩනැගුණු මළකඩ පුරුදු සහ මතයන් ඉවත්කිරීමට නිපැයුණු එකකි.
එසේම එම කථාව තුළ සාම්ප්‍රදායික පෙම්කථාවකුත්, හාස්‍යය සහ කුතුහලය රිංගවා තිබීමෙන් මෙය පසුගිය වසරේ ජනප්‍රියතම එකක් විය.


PAA….. – ජනප්‍රිය නළුවෙක් වන අමිතාබ් බච්චන් මෙහි අතිශය නුහුරු රුවකින්, එක්තරා රෝගයක් වටා ගෙතුණු කථාවක ප්‍රධාන චරිතය කරන අතර ඔහුගේ පුත් අභිෂේක් මෙහිදී ඔහුගේ පියා ලෙස රඟපායි. කථාව තුළ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා සැබෑ ජනතා සේවය කරන දේශපාලකයෙක්, පෙම්වතෙක් ආදී චරිත මුණගැසේ. මෙන්න මේ කුතුහලය, වෙනස, අමුත්ත, එම චිත්‍රපටිය අතිශය ජනප්‍රිය එකක් බවට පත් කර ඇත.


slumdog millionaire- මුඩුක්කු බල්ලෙක් ලෙස සමාජ කෙළපහරට හිමිකම් කියන නූගත් තරුණයෙක් තම ජීවිතයේ අහඹු අත්දැකීම් නිසා රියැලිටි තරඟයක් ජයගන්නා ආකාරය, එලෙස සමාජයේ පහළ ස්ථරයේ තරුණයෙක් මුහුණදෙන අතිශය සංවේදී, කර්කශ සිදුවීම් මාලාවක් අතරම ප්‍රේමය, ත්‍රාසය, වැනි දෑ ඔබ්බවූ මේ චිත්‍රපටය ජාත්‍යන්තරයේද ඉහලම ප්‍රසාදයක් දිනා තිබේ.

ටිකක් එළියට යනවානම් මෑත කාලීන හොලිවුඩයද එලිදැක්වූයේ මෙවැනි වෙනස් ආරක චිත්‍රපට ය.

ඇවටර්, 2012 මෑත කාලීන සුපිරිතම උදාහරණ වේ.

සැමදා පිටරැටියන්ගේ ගුණ වැනීමට මා සූදානම් නැත. ඒත් සත්‍යය කිවයුතුව ඇත්තේ මොකක් නමුත් කළයුතුව තිබෙන නිසාය. සාම්ප්‍රදායික කථා ආර. එනම් සමාජයේ බහුලව සිදුවෙන දෙයක්ම නැවත නැවත රීල් කැවීම නොව. මේ මිනිසුන්ගේ මොළයට කථා කරන චිත්‍රපටි බිහිවිය යුතුය. එසේ වීම හුදෙක් චිත්‍රපටි කළාවට පමණක් නොව, මේ රටටද වැඩදායී ඔළුගෙඩි ටිකක් අනාගතයට දායාද කිරීමට ඉවහල් වනු ඇත. රුසියාව වැනි රටවල් පණගසා ආවේ මේ වැනි දේවල් වලිනි. මැක්සිම් ගෝර්කි වැනි කතුවරුන් තම මාධ්‍යය ඔස්සේ ඔළු සේදීමක් කරන ලද්දෙන් රටට ආදරේ කරන ආකල්ප සහිත මිනිසුන් පිරිසක් බිහිවිය. එතනින් එහාට ගමන ලිස්සන බෝට්ටුවක යන්නාක් මෙනි. මෙන්න මේ වෙනස සිදු නොවී මොන සම්පත් තිබුණද, කෙතරම් ආයෝජකයන් පැමිණියද, කොයිතරම් දක්ෂ පාලකයෙක් සිටියද, මේ රට හෝ අපේ සිනමා කළාව ගොඩ ඇදීම උගහටය….

Advertisements